ලිබියානු හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් අලි අහමඩ් අල්-හද්දාද් රැගත් පෞද්ගලික ගුවන් යානයක් තුර්කියේ අන්කාරා අගනුවරට නුදුරින් අනතුරට පත්වීමෙන් ඔහු ඇතුළු යානයේ සිටි පිරිස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ අන්කාරා හි එසෙන්බෝගා (Esenboğa) ගුවන්තොටුපළෙන් ගුවන්ගත වී මිනිත්තු කිහිපයකින් පසුවයි මෙම අනතුර සිදුව ඇත්තේ.

හමුදා ප්‍රධානියා ඇතුළු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පස් දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ඇතුළු යානයේ සිටි අට දෙනාම මෙහිදී මියගොස් තිබෙනවා.

මූලික විමර්ශනවලට අනුව මෙය කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොව, ගුවන් යානයේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් (විද්‍යුත් දෝෂයක්) බව තුර්කි බලධාරීන් පවසනවා.

ලිබියානු අගමැති අබ්දුල් හමිඩ් බෙයිබා (Abdul Hamid Dbeibah) මෙම පුවත තහවුරු කරමින් පවසා සිටියේ, මෙය සමස්ත ලිබියානු ජාතියටම සිදුවූ විශාල පාඩුවක් බවයි.

මේ හේතුවෙන් ලිබියාව පුරා දින තුනක රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මාණ්ඩලික ප්‍රධානී අල්-හද්දාද් බෙදී පවතින ලිබියානු හමුදාව එක්සත් කිරීමේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වලදී ප්‍රධාන භූමිකාවක් ඉටුකළ නිලධාරියෙක්.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version