- උසාවියට ගෙන ආ ජනපති බිරිඳගේ හිසේ තුවාලයක්
- ඉල ඇටයකුත් කැඩී ඇති බවට සැකයක්
- උසාවියට ආ මොහොතේ සිට මදුරෝ කුරුටු ගාන පොත
වෙනිසියුලාවේ සිට අපරාධ චෝදනා ගොනු කිරීමට අමෙරිකානු හමුදා විසින් අත්අඩංගුවට ගෙන නිව්යෝක් වෙත රැගෙන ගිය නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස්, ඊයේ මෑන්හැටන් ෆෙඩරල් අධිකරණය හමුවේ ප්‍රථම වරට පෙනී සිටිමින් තමන් මුළුමනින්ම නිවැරැදිකරු බවට අධිකරණය හමුවේ අවධාරණය කළ බව විදෙස් වාර්තා පවසනවා.
ඔහුගේ නීතිඥ බැරී පොලැක් පැවසුවේ, මදුරෝව හමුදාමය වශයෙන් පැහැරගැනීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලු පවතින බවයි.
ස්වෛරී රාජ්‍යයක නායකයෙකු ලෙස මදුරෝට නඩු පැවරීමෙන් ආරක්ෂාව ලැබීමට අයිතියක් ඇති බව පෙන්වා දීමට තමන් උත්සාහ කරන බව ඔහුගේ නීතිඥවරයා මෙහිදී පවසා තිබුණා.
දැනට බෘක්ලින්හි MDC රැඳවුම් මධ්‍යස්ථානයේ ෆෙඩරල් රැඳවුම් භාරයේ සිටින මදුරෝ සහ ෆ්ලෝරස් දහවල් කාලයේදී විනිසුරු ඇල්වින් හෙලර්ස්ටයින් හමුවේ පෙනී සිටියා.
අධිකරණ ශාලාවට ඇතුළු වන විට මදුරෝ එතැන සිටි අයට සුබ උදෑසනක් පවසමින් ආචාර කළ බව සඳහන්. මදුරෝ මාංචු දමා තැඹිලි පැහැති සිරකරු සෙරෙප්පු පැළඳ අධිකරණයට රැගෙන එන ලද අතර, ඔහු තම බිරිඳට අසුන් දෙකක් එපිටින් වාඩි වී තිබුණා. ඔවුන් දෙදෙනාම අධිකරණය මගින් සපයන ලද පරිවර්තකයාගේ හඬ ශ්‍රවණය කිරීමට හෙඩ්ෆෝන් පැළඳ සිටියා.
මදුරෝ අසුන් ගත් වහාම සටහන් පොතක ලිවීමට පටන් ගත් අතර, ෆ්ලෝරස් ඇගේ නීතිඥ මාර්ක් ඩොනෙලි අසලින් වාඩි වූවා.
මදුරෝ විනිසුරුවරයා ඉදිරියේ නැගී සිටියා.
“ඔබ නිකොලස් මදුරෝ මොරෝස් ද?” යනුවෙන් විනිසුරු විමසුවා.
“මම තමයි වෙනිසියුලාවේ ජනාධිපති. මාව කරාකස් හි පිහිටි මගේ නිවසේදී අල්ලා ගත්තා”
තම අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කිරීමට පසුව කාලය ලැබෙනු ඇති බව විනිසුරුවරයා ඔහුට පැවසුවා. ඉන්පසු මදුරෝ තමා කවුදැයි තහවුරු කළා.
“මම මේ අයිතිවාසිකම් ගැන දැන සිටියේ නැහැ. දැන් තමයි ඒවා ගැන මට දැනුම් දුන්නේ.” මදුරෝ කියාසිටියා.
“ඔබ අභියාචනා කරන්නේ කෙසේද?” විනිසුරුවරයා ඇසුවා.
මදුරෝ ප්‍රකාශ කළේ ” මම නිවැරදිකරු. මම වැරදි කර නැහැ. මම ගෞරවනීය මිනිසෙක්. මම තවමත් මගේ රටේ ජනාධිපති” බවයි.
කෙසේ වෙතත්, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මදුරෝ නීත්‍යානුකූල ජනාධිපතිවරයා ලෙස පිළි නොගන්නා බවට පැවසුවා. ඒය බයිජන් බාලන සමයේදීද ස්ථාවරය වූ බව ද සිහිපත් කළා.
මදුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා ඔත්තුවක් දුන්නොත් ඩොලර් මිලියන 25 ක ත්‍යාගයක් පිරිනැමීමට නියම කර තිබූ බවට ද රූබියෝ සඳහන් කර තිබුණා.
“මම නිවැරදිකරු. මෙහි සඳහන් කිසිදු කරුණකට මම වැරදිකරු නොවේ,” යැයි මදුරෝ නැවතත් අවධාරණය කළා.
මදුරෝගේ බිරිඳ කැඳවූ විනිසුරුවරයා ඇයගෙන් කරුණු විමසුවා.
“මම සිලියා ෆ්ලෝරස්. වෙනිසියුලා ජනරජයේ පළමු කාන්තාව මමයි” ඇය කියාසිටියා.
නමුත් විනිසුරුවරයා පැවසුවේ “අද දින අරමුණ ඔබ කවුදැයි විමසීම පමණයි” යනුවෙන්.
පසුව විනිසුරුවරයා ඇගේ අයිතිවාසිකම් පැහැදිලි කළා. ඇයට එරෙහිව ඇති චෝදනා තුනටම “මම නිවැරදිකරු. සම්පූර්ණයෙන්ම නිවැරදිකරු” බව ප්‍රකාශ කළා.
“වෙනිසියුලාවේ පුරවැසියන් ලෙස ඔබට කන්සියුලර් සේවාවන් ලබාගැනීමට අයිතියක් තිබෙනවා” විනිසුරුවරයා දෙපළට දැනුම් දුන්නා.
“අපි තේරුම් ගත්තා ඒ වගේම එලෙස කන්සියුලර් සේවා ලබාගැනීමට අපි කැමතියි’ මදුරෝ පැවසුවා.
මදුරෝ නඩු විභාගය අතරතුර තම පොතෙහි සටහන් ලබා ගත් අතර ඒවා තබා ගැනීමට අවසර ඉල්ලා සිටියා.
ඔවුන් ඇප ඉල්ලා නොසිටි අතර ඉදිරියේදී ඇප ඉල්ලීමට හැකියාව පවතින බවට පවසා තවදුරටත් රඳවා තැබීමටයි විනිසුරුවරයා නියෝග කළේ.
ෆ්ලෝරස්ගේ හිසේ තුවාලයක් දක්නට ලැබුණු අතර, “ඇය බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා. ඇගේ ඉළ ඇට කැඩී ඇති බවට සැකයක් තියෙනවා” ඇගේ නීතිඥවරයා පැවසුවා.
මදුරෝ අධිකරණයෙන් පිටව යන විට, එහි සිටි අයෙකු “වෙනිසියුලාව වෙනුවෙන් ඔබට වන්දි ගෙවීමට සිද්ධවේවී” යැයි කෑගැසූ අතර, මදුරෝ එයට පිළිතුරු දෙමින් කියා සිටියේ තමා “තේරී පත් වූ ජනාධිපති මමයි. මම යුද සිරකරුවෙක්. මම නිදහස් වෙනවා” යනුවෙන්.
මදුරෝ සහ ඔහුගේ බිරිඳ ඇතුළු හය දෙනෙකුට පසුගිය වසර 25 පුරා දරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වී ඇති අතර මදුරෝ එම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මෙය වෙනිසියුලාවට එරෙහිව සිදු කළ මහා පරිමාණ ප්‍රහාරයක් බවත්, එය ඇමරිකානු නීතිය බලාත්මක කිරීමේ අංශ සහ ඩෙල්ටා ෆෝස් වැනි ප්‍රභූ හමුදා කණ්ඩායම් එක්ව කළ මෙහෙයුමක් බවයි.
ට්‍රම්ප් තවදුරටත් පැවසුවේ යම් කාලයකට වෙනිසියුලාව ඇමරිකාව විසින් පාලනය කරනු ඇති බවයි.
වෙනිසියුලානු ශ්‍රේෂ්ඨාධිකරණය මදුරෝගේ අත්අඩංගුවට ගැනීම පැහැර ගැනීමක් ලෙස හැඳින්වූ අතර, උප ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් අන්තර්කාලීන නායිකාව ලෙස දිවුරුම් දුන්නා.
ඇය මුලින් ඇමරිකානු ආක්‍රමණයට එරෙහිව සටන් කරන බව පැවසුවද, පසුව ජාත්‍යන්තර නීතිය රාමුව තුළ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට කැමැත්ත පළ කළා.
ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට පැවසුවේ දැනට වෙනිසියුලාවේ වගකීම දරන්නේ ඇමරිකාව බවයි.
මදුරෝගේ ඊළඟ නඩු වාරය මාර්තු 17 වැනිදාට යළි විභාග කිරීමට නියෝග කෙරුණා.
