කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝහල් කළමනාකරණ කමිටු රැස්වීම සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා රෝහල් ශ්රවණාගාරයේදී පැවැත්විණි. රෝගී සත්කාර සේවාවන් ප්රශස්ත කිරීම සහ රෝහල් පරිපාලනය විධිමත් කිරීම මෙම රැස්වීමේ මූලික අරමුණ විය.
දිවයින පුරා සෞඛ්ය ආයතනවල මානව හා භෞතික සම්පත් කළමනාකරණය මෙන්ම සංවර්ධන කටයුතු ක්රමවත්ව සැලසුම් කිරීම සඳහා මෙම රැස්වීම් මාලාව ක්රියාත්මක කෙරේ. දැනට දිස්ත්රික්ක 15ක් ආවරණය කර ඇති මෙම වැඩසටහන දෙසැම්බර් මාසය වන විට සියලුම රේඛීය අමාත්යාංශ සෞඛ්ය ආයතනවලදී අවසන් කිරීමට අපේක්ෂා කරන බව නියෝජ්ය අමාත්යවරයා මෙහිදී සඳහන් කළේය.
රෝහලේ යටිතල පහසුකම් සංවර්ධනය, වෛද්ය සැපයුම් විධිමත් කිරීම සහ විශේෂිත ශල්යකර්ම කාර්යක්ෂමව සිදු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම හෘද උරස්, විකලාංග සහ ස්නායු ශල්යකර්ම සඳහා අවශ්ය සම්පත් කළමනාකරණය කෙරෙහි අමාත්යවරයා විශේෂ අවධානය යොමු කළේය.
රෝහල් මට්ටමින් විසඳා ගැනීමට අපහසු ඖෂධ හා උපකරණ සම්බන්ධ ගැටළු සෞඛ්ය අමාත්යාංශය හරහා කඩිනමින් නිරාකරණය කර ගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි. සේවා අඩාල නොවී අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වෛද්ය හා හෙද කාර්ය මණ්ඩලය සැලසුම් සහගතව යෙදවීමට ද උපදෙස් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම්වරුන්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්ය ප්රදීප් රත්නසේකර මහතා ඇතුළු වෛද්යවරුන් සහ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර