රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඇමරිකානු ඩොලරයට ඉහළ ඉල්ලුමක් පැවතීම වාසියක් කරගනිමින් ව්‍යාජ ඩොලර් නෝට්ටු ජාවාරමක නිරත වූ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත් විය.
සැකකාරිය විසින් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ජාවාරම සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඇය සැබෑ ඩොලර් නෝට්ටු පෙන්වා ගැනුම්කරුවන්ගේ විශ්වාසය දිනාගෙන, පසුව ව්‍යාජ නෝට්ටු ලබා දී මුදල් වංචා කර ඇති බව වාර්තා වේ.
වැල්ලම්පිටිය, කොටිකාවත්ත ප්‍රදේශයේ කුලී නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් 53 හැවිරිදි මෙම කාන්තාව සතුව තිබී ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 6,300ක් සොයාගෙන ඇත. මෙහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් රුපියල් කෝටි 21කට අධික බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය ප්‍රකාශ කර ඇත්තේ, මෙම ව්‍යාජ මුදල් තොගය මීට පෙර තමන් පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාවකට පැමිණි පාකිස්තාන ජාතිකයෙකුගෙන් ලැබුණු බවයි. මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද මෙම ව්‍යාජ මුදල් ජාවාරම පිටුපස සිටින සෙසු පුද්ගලයන් සොයා පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මෙම ජාවාරමට හසු වූ බොහෝ දෙනෙකු නීති විරෝධී ගනුදෙනුවක් සිදු කළ බැවින් පොලිසියට පැමිණිලි කිරීමට මැලි වී ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
