අබුඩාබි රාජ්‍යයේ රැඳී සිටියදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ පාතාල කල්ලි නායකයෙකු වන ‘බ්ලූමැන්ඩල් සංඛ’ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මෝදර චතුර’ යන දෙදෙනා මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත. මොවුන් පසුගිය 13 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති අතර, පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් අබුඩාබි රාජ්‍යයේ සිට ඉරානයට සහාය පළ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට ප්‍රචාරය කිරීමේ චෝදනාව මත එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මොවුන් ඉරාන මාෆියා කණ්ඩායම් සමඟ සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වී ඇති බවයි.
ප්‍රධාන සැකකරුවෙකු වන රණසිංහ ආරච්චිගේ සංඛ ශිරන්ත හෙවත් ‘බ්ලූමැන්ඩල් සංඛ’, මිනිස් ඝාතන, කප්පම් ගැනීම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකි. ඔහු මීට පෙර කොළඹ පාතාලයේ ප්‍රබලයෙකු වූ ‘ප්‍රින්ස් කොලම්’ගේ සමීපතම සගයෙකු ලෙස කටයුතු කර ඇත.
අනෙක් සැකකරු වන කුරුප්පුආරච්චිගේ දොන් චතුර දිල්රුක්‍ෂ හෙවත් ‘මෝදර චතුර’, ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මෝදර නිපුන’ගේ සොහොයුරා වේ. මොහු 2020 වසරේ සිට විදෙස්ගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකරුවන් දෙදෙනාගෙන් මෝදර චතුර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයටත්, බ්ලූමැන්ඩල් සංඛ කොළඹ උතුර අපරාධ කොට්ඨාසයටත් භාර දී ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මොවුන් සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
