චීන සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව විදහා දැක්වෙන “Heart to Heart, Side by Side” ඡායාරූප ප්‍රදර්ශනයක් කොළඹ ජාතික රෝහලේදී පැවැත්වේ. චීන ආධාර යටතේ ඉදිවූ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ (OPD) ගොඩනැගිලි පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය විවෘත කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂි ෂෙන්ග්හොන්ග් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙම ප්‍රදර්ශනය සඳහා දෙරට අතර පවතින මිත්‍රත්වය, චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර, ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන ව්‍යාපෘති සහ බහු-ක්ෂේත්‍ර සහයෝගීතාවයන් නිරූපණය කෙරෙන ඡායාරූප 350කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ.
උත්සව සභාව අමතමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, චීන ආධාර යටතේ යුවාන් මිලියන 500ක පිරිවැයකින් ඉදිවූ මෙම නව බාහිර රෝගී අංශය මගින් රෝගීන්ට මෙන්ම කාර්ය මණ්ඩලයටද වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට හැකියාව ලැබී ඇති බවයි. ජාතික රෝහල වැනි ප්‍රමුඛතම සෞඛ්‍ය මධ්‍යස්ථානයක් හරහා මෙවැනි ජාත්‍යන්තර සහයෝගීතාවයන් සාමාන්‍ය ජනතාවගේ ජීවිත නගාසිටුවීමට ඉවහල් වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
