කැනඩාවේ පදිංචියට යවන බව පවසා තරුණියන් රැසක් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. මොහු විවාහක තිදරු පියෙකු බවත්, මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටිමින් තරුණියන් මුළා කර ඇති බවත් පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.
මෑතකදී තෙල්දෙණිය ප්‍රදේශයේ මෝටර් රථයක තිබී මියගොස් සිටි අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියකගේ මරණය සම්බන්ධයෙන් ද මෙම සැකකරුට චෝදනා එල්ල වී තිබේ. ඇයව විවාහ කරගන්නා බව පවසා කැනඩා යෑම සඳහා රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් සැකකරු විසින් ලබාගෙන ඇති බව වාර්තා වේ.
මෙම මුදල් ලබා ගැනීම සඳහා අදාළ තරුණිය බැංකු සහ හිතවතුන්ගෙන් ණය ලබාගෙන තිබූ අතර, සැකකරු එම මුදල් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට වියදම් කර ඇත. කැනඩා සිහිනය බොඳවීමෙන් පසු දැඩි මානසික පීඩාවට පත්වූ තරුණිය නුවරඑළියේ මහල් නිවාසයක දින කිහිපයක් නිරාහාරව සිට ඇති බව ද අනාවරණය වේ.
සැකකරු තට්ට හිසක් ඇති අයෙකු බවත්, ව්‍යාජ කොණ්ඩයක් පැළඳ තරුණියන් රවටා ඇති බවත් පොලිසිය පවසයි. දැනට අතුරුදන්ව සිටින සැකකරු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන පවත්වන අතර, ඔහු රටින් පිටවීම වැළැක්වීම සඳහා විදේශ ගමන් තහනමක් ද පනවා ඇත.
