බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට උතුරින් පිහිටි ප්‍රදේශයක සිදුවූ දරුණු දුම්රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසිය තහවුරු කරයි. බෙඩ්ෆර්ඩ් නගරයට දකුණින් පිහිටි දුම්රිය මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇත්තේ සිකුරාදා සන්ධ්‍යාවේදීය.
නැගෙනහිර මිඩ්ලන්ඩ්ස් දුම්රිය සේවයට අයත් දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් එක් දුම්රියක ඉදිරිපස කොටස අනෙක් දුම්රියේ පිටුපස ගැටී තිබේ. අනතුර සිදුවූ ස්ථානයේ මැදිරි කිහිපයක් රේල් පීලිවලින් ඉවතට පැන ඇති බව ද වාර්තා වේ.
අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු ඉතා බරපතල තුවාල ලබා ඇති අතර, තවත් 22 දෙනෙකු බරපතල තුවාල සහ 56 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇත. සිද්ධිය සැලවීමත් සමඟ ගිලන්රථ 20කට අධික සංඛ්‍යාවක් සහ ගුවන් ගිලන්රථ 6ක් යොදවා දැවැන්ත හදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කරන බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර්, මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් සහ තුවාල ලැබූවන් වෙනුවෙන් සිය කනගාටුව ප්‍රකාශ කර ඇත. අනතුරට හේතුව සොයා මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.
