එක්සත් ජනපදය සහ ඉරානය අතර කල්පවත්නා සාම ගිවිසුමක් ඇති කර ගැනීමේ අරමුණින් සිදු කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ක්‍රියාමාර්ග හේතුවෙන් අඩාල විය හැකි බවට ඇමෙරිකානු බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ.
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දියත් කරන හමුදා මෙහෙයුම් මෙම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියට ප්‍රධාන බාධාවක් වී ඇත. විශේෂයෙන්ම දකුණු ලෙබනනයේ ඊශ්‍රායල හමුදා රැඳී සිටීම සහ අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පැවැත්වෙන සාකච්ඡා අවදානමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය දිනක දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල සොල්දාදුවන් සිව් දෙනෙකු මිය යාමෙන් පසු උත්සන්න වූ ගැටුම්කාරී වාතාවරණය නිසා, ඇමෙරිකානු සහ ඉරාන නිලධාරීන් අතර පැවැත්වීමට නියමිතව තිබූ උසස් මට්ටමේ සාකච්ඡා කිහිපයක්ම කල් දැමීමට සිදුවිය.
තම රටේ පවතින දේශපාලන බලපෑම් මත ලෙබනනයේ හමුදා මෙහෙයුම් නතර කිරීමට නෙතන්යාහු මැලිවීම මෙම ආතතිය තවදුරටත් වර්ධනය වීමට හේතු වී තිබේ. කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය සහ නෙතන්යාහු රජය අතර මතභේද පවතින බවද වාර්තා වේ.
කලාපීය සතුරුකම් අවසන් කිරීම සඳහා අමෙරිකාව ගෙන යන මෙම උත්සාහයන් සාර්ථක කර ගැනීමට නම් ඊශ්‍රායලය සිය හමුදා ක්‍රියාමාර්ගවලදී සංයමයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
