පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 87 වන උපාධි ප්රදානෝත්සවය නිමිත්තෙන්, උපාධි අපේක්ෂකයන් සහ ආරාධිත අමුත්තන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා අභියෝගාත්මක බඹර කූඩු ඉවත් කිරීමේ මෙහෙයුමක් ඊයේ (17) දින ක්‍රියාත්මක විය. මහනුවර බිඟු සම්පත සුරැකීමේ සංවිධානය විසින් මෙම මෙහෙයුම සිදු කරන ලදී.
මහවැලි ගඟට ඉහළින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා ඉංජිනේරු පීඨය සම්බන්ධ කරන පැරණි අක්බාර් පාලමේ බඹර කූඩු 15ක් පමණ මෙම මෙහෙයුමෙන් ඉවත් කෙරිණි. උපාධි ප්‍රධානෝත්සවයට පැමිණෙන විශාල පිරිසක් මෙම පාලම හරහා ගමන් කරන බැවින්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.
බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක මහින්ද ජයසිංහ මහතා පැවසුවේ, මෙවැනි කටයුතු සිදු කිරීමේදී සත්ත්වයන්ට හානි නොවන අයුරින් නව තාක්ෂණය උපයෝගී කර ගන්නා බවයි. මෙම බඹරුන් තාවකාලිකව වෙනත් පරිසරයකට මුදා හරින අතර, ඔවුන්ට හානි නොකළහොත් ඔවුන්ගෙන්ද හානියක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මෙහෙයුම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ අවසන් වසරේ සිසුවියක වන අවිශ්කා ඉදුමිණී ඇතුළු තවත් සිසුවියන් කිහිපදෙනෙකුද එක්ව සිටීම විශේෂත්වයක් විය. අවිශ්කා ඉදුමිණී සිසුවිය පැවසුවේ, මෙම කාර්යය ඇතැම් විටෙක ජීවිතයත් මරණයත් අතර සටනක් වැනි අභියෝගාත්මක එකක් බවයි. එයට ඉහළ වෘත්තීය කුසලතාවයක්, ධෛර්යයක් හා කැපවීමක් අවශ්‍ය වන බවද ඇය සඳහන් කළාය.
මෙම බඹර කූඩු ඉවත් කිරීමේ කටයුතු, මහවැලි ගඟට ඉහළින් අඩි 150ක් පමණ උසින් කඹ හා ඉනිමග ආධාරයෙන් සිදු කෙරුණු අතර, බඹර ප්‍රහාරවලින් ආරක්ෂාවෙමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය. මෙය පුහුණුවකින් පසු තරුණියන්ට පවා සිදුකළ හැකි කාර්යයක් බව අවිශ්කා ඉදුමිණී වැඩිදුරටත් පැවසුවාය.
2014 වසරට පෙර මෙම පාලමේ බඹර කූඩු ඉවත් කිරීම සිදු වූයේ බඹරුන් විනාශ කරමින්, අවාසනාවන්ත ආකාරයට බවත්, ඉන්පසුව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය බිඟු සම්පත සුරැකීමේ සංවිධානයට මෙම වගකීම භාර දුන් බවත් සංවිධානයේ ලේකම් තිස්ස බණ්ඩාර තඹවිට මහතා සඳහන් කළේය. මෙම ක්‍රමවේදය මගින් බඹරුන්ට කිසිදු හානියක් සිදු නොවන අතර, ඔවුන් නැවතත් මෙම ස්ථානයේම කූඩු බැඳීම ස්වාභාවික සංසිද්ධියක් බවද ඔහු පැවසීය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර