පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF), එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කොන්දේසිවලට යටත්ව අනුමැතිය ලබා දී ඇත.

මෙම කමිටු වාරයේදී ඩිජිටල් වේදිකා හරහා සේවා සපයන නිර්වාසික සැපයුම්කරුවන් වෙත බදු පැනවීම පිළිබඳව වැඩි අවධානයක් යොමු විය. විශේෂයෙන්ම දේශීය හා විදේශීය ප්‍රවාහන සේවා සමාගම් අතර පවතින බදු අසමානතාව සහ එමගින් දේශීය ඩිජිටල් ව්‍යවසායකයන්ට සිදුවන බලපෑම පිළිබඳව කමිටු සභාපතිවරයා සිය කණගාටුව පළ කළේය.

නව සංශෝධන අනුව වැට් බදු ගෙවීම සඳහා වන පිරිවැටුම් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 15 සිට රුපියල් මිලියන 9 දක්වා අඩු කෙරේ. ඒ හරහා අලුතින් ව්‍යාපාර 10,000ක් පමණ බදු පද්ධතියට ලියාපදිංචි වනු ඇතැයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අපේක්ෂා කරයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට POS යන්ත්‍ර ලබාගැනීමේදී සිදුවන අමතර වියදම සහ නීති කඩකිරීම් සඳහා පනවා ඇති ඉහළ දඩ මුදල් පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. ව්‍යවසායකයන්ට දඩ නොගසා මෙම ක්‍රමයට හුරුවීමට සහාය වන ලෙස කමිටුව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන ලදී.

මීට අමතරව, බඩ ඉරිඟු සඳහා වන බද්ද රුපියල් 25 සිට 50 දක්වා ඉහළ නැංවීම ඇතුළු විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නිකුත් කළ ගැසට් නිවේදන කිහිපයකටද කාරක සභාවේ අනුමැතිය හිමිවිය. බඩ ඉරිඟු බදු වැඩිවීමෙන් කුකුල් මස් සහ බිත්තර මිල කෙරෙහි බලපෑමක් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස නිලධාරීන්ට දැනුම් දී ඇත.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව, අදාළ රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට පෙර නැවත වරක් කාරක සභාවේ අනුමැතිය ලබාගත යුතු බවද සඳහන් වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version