නිවාස ඉදිකිරීම් කටයුතු අතරමග නතර වී ඇති, එහෙත් බැංකු ණය ලබා ගැනීමට ප්‍රමාණවත් ආදායම් වාර්තා හෝ ඇපකර නොමැති අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් විශේෂ සහන ණය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය. දැනට පවතින නිවාස සංවර්ධන අධිකාරියේ ණය ක්‍රමවේදවල යම් වෙනස්කම් සිදු කරමින් මෙම නව වැඩසටහන සකස් කිරීමට නියමිතය.
අමාත්‍යවරයා සඳහන් කළේ, 2024 දෙසැම්බර් මාසයේ සිදු කළ සංගණනයකට අනුව මෙරට පවුල් දහස් ගණනක් සිය නිවාස ඉදිකිරීම් කටයුතු අවසන් කරගත නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවයි. ස්ථිර ආදායමක් හෝ දේපලක් නොමැති වීම හේතුවෙන් ඔවුන්ට සාමාන්‍ය බැංකු ණය ලබා ගැනීම ගැටලුවක් වී ඇත.
මෙම පවුල්වලට සහනයක් සැලසීම සඳහා ඉදිරි අයවැය යෝජනාවලිය හරහා මෙම සහන ණය ක්‍රමය හඳුන්වා දීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ඒ හරහා එම පවුල්වලට තම නිවාස ඉදිකිරීම් කටයුතු අවසන් කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත.
