ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම සැසිවාරය හරහා මෙරට මුඛ සෞඛ්‍ය ක්ෂේත්රයේ නවීන පර්යේෂණ, රෝග වැළැක්වීමේ ක්‍රමවේද සහ මහජනතාවට ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
උත්සවයේදී අග්‍රාමාත්‍යතුමිය අතින් දක්ෂතා දැක්වූ වෛද්‍ය සිසුන්, පර්යේෂකයන් සහ ශිෂ්‍යත්වලාභීන් ඇගයීමට ලක් කෙරිණි. දශක නවයකට අධික කාලයක් ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය විසින් වෘත්තීය ප්රමිතීන් ආරක්ෂා කරමින් සහ දැනුම ප්‍රවර්ධනය කරමින් සිදුකරන මෙහෙවර අග්‍රාමාත්‍යවරිය මෙහිදී විශේෂයෙන් අගය කළාය.
මහජන සෞඛ්‍යය යනු හුදෙක් රෝහල්වලට පමණක් සීමා වූවක් නොවන බව අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් රෝග වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව පෙන්වා දුන්නාය. “මුඛ සෞඛ්‍යය යනු සමස්ත යහපැවැත්මේ සහ ගෞරවයේ අත්‍යවශ්‍ය අංගයක්,” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ලොව පුරා බිලියන 3.5කට ආසන්න පිරිසක් මුඛ රෝගවලින් පීඩා විඳින බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව තුළ ද දරුවන් සහ වැඩිහිටියන් මුහුණ දෙන දන්ත රෝග මෙන්ම මුඛ පිළිකා වැනි අභියෝග ජය ගැනීමට රජය කැපවී සිටින බව පැවසුවාය. පාසල් දන්ත සෞඛ්‍ය සේවා සහ ප්‍රජා මූලික වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව ද ඇය සඳහන් කළාය.
දන්ත වෛද්‍ය වෘත්තිය තුළ කාන්තා දායකත්වය අගය කළ අග්‍රාමාත්‍යතුමිය, පර්යේෂණ සහ තීරණ ගැනීමේ ක්ෂේත්රවල කාන්තාවන්ට සමාන අවස්ථා සහතික විය යුතු බව ද අවධාරණය කළාය. මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ දන්ත වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා ඇතුළු විද්වතුන් රැසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර