කඩුවෙල, මාලඹේ සුදර්ශන මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවසක රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා විශාල මත්පැන් තොගයක් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සමත් විය. මෙම වැටලීමේදී බලපත්‍රලාභී මත්පැන් බෝතල්වලට සමාන අයුරින් නිෂ්පාදනය කළ බෝතල් දහ අටදහසකට අධික ප්‍රමාණයක් සහ නිෂ්පාදන උපකරණ සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, අදාළ මත්පැන් බෝතල්වල අලවා තිබූ ආරක්ෂිත ස්ටිකර් ඉන්දියාවෙන් ගෙන්වා ඇති බවයි. මෙම ස්ටිකර් සුරාබදු දෙපාර්තමේන්තුවේ යන්ත්‍රවලින් පවා හඳුනාගත නොහැකි මට්ටමේ පවතින බව විමර්ශන නිලධාරීන් පවසයි.
මෙම ජාවාරම පිටුපස හිටපු අමාත්‍යවරයෙකු සිටින බවට තොරතුරු ලැබී ඇති අතර, ඔහුට සමීපතමයෙකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වේ. එසේම, ප්‍රධාන පෙළේ මත්පැන් සමාගම්වලට එතනෝල් සපයන වත්තල ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම ජාවාරමට අමුද්‍රව්‍ය සැපයූ බවටද තොරතුරු අනාවරණය වී ඇත.
පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම මත්පැන් තොග කඳුකර ප්‍රදේශවල සහ නැගෙනහිර පළාතේ සුරාසල් වෙත බෙදාහැර ඇති බවයි. මඩකලපුව ප්‍රදේශයේ සුරාසල් 25කට නීති විරෝධී මත්පැන් බෙදාහැරීමේ ජාවාරමට සම්බන්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ ලොරි රථ රියදුරෙකුද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ අතර, අදාළ නිවසේ හිමිකාරිය මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින බවත්, ඇයගේ දැනුවත්භාවය මත මෙම ජාවාරම සිදුව ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. සුරාබදු නිලධාරීන්ගේ සම්බන්ධයක් මෙම ජාවාරම පිටුපස පවතීද යන්න පිළිබඳවද පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
