දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘සිහින ගමනාන්තය’ (Dream Destination) ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කර ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ පිහිටි මෙම දුම්රිය ස්ථානය දීර්ඝ කාලයක් ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් මගීන්ට දැඩි අපහසුතා මතු වී තිබුණි. රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් පිහිටි නාරාහේන්පිට ප්‍රදේශයේ මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.

මෙම නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 40ක මූල්‍ය දායකත්වයක් මාගා ඉංජිනේරු (MAGA Engineering) ආයතනය විසින් ලබා දී ඇත. ඒ යටතේ මගී ගුවන් පාලම, වහලය, වේදිකාව, සනීපාරක්ෂක පද්ධති සහ විදුලි ආලෝක පද්ධති ඇතුළු යටිතල පහසුකම් රැසක් වැඩිදියුණු කර තිබේ.

උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවයි. එහි කොටසක් ලෙස ලබන වසරේ සිට කොළඹ කේන්ද්‍ර කරගනිමින් විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරීන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version