චීනයේ ගිනිකොනදිග ජින්ජියැං නගරයේ පිහිටි පාවහන් නිෂ්පාදන කම්හලක හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කරයි. මෙම කම්හල ලොව ප්‍රධාන පෙළේ ක්‍රීඩා පාවහන් නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.

ප්‍රාදේශීය වේලාවෙන් දහවල් 12ට පමණ හුයිටෙන්ග් පාවහන් කම්හලේ මෙම ගින්න හටගෙන ඇති අතර, ගොඩනැගිල්ලෙන් විශාල කළු දුමාරයක් පිටවන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශනවල දැක්වේ. ගින්න පැතිරෙන අවස්ථාවේ වහලය මත පුද්ගලයින් කිහිප දෙනෙකු සිරවී සිටි බවද වාර්තා වේ.

ගින්න පාලනය කිරීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් සිය ගණනක් වහාම ක්‍රියාත්මක වූ අතර, එම ස්ථානයේ සිටි 200කට අධික පිරිසක් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට ඔවුන් සමත් විය. කෙසේ වෙතත්, තුවාල ලැබූවන්ගේ නිශ්චිත සංඛ්‍යාවක් මෙතෙක් තහවුරු වී නොමැත.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කම්හලේ බිම් මහලේ ගබඩා කර තිබූ දැවෙන සුළු ද්‍රව්‍ය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිරී ගිය බවයි. සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, මෙම ව්‍යසනයට වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව අවධාරණය කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version