ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල වෛද්‍යවරුන්ගේ ආයු කාලය සාමාන්‍ය වෘත්තියවේදීන්ගේ ආයු කාලයට වඩා අඩු බවට ඉන්දියාවේ සිදුකළ පරීක්ෂණයකින් තහවුරු වී ඇත. කෙසේවුවත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයින්ගේ ආයු කාලය බොහෝ දුරට වයස අවුරුදු 65 ඉක්මවා යන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
පසුගිය දශක පහක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සහ පළාත් සභා ක්ෂේත්රයේ සිටි ප්‍රධාන දේශපාලනඥයින්ගේ ආයු කාලය සම්බන්ධයෙන් සිදුකළ සමාජ සමීක්ෂණයකට අනුව, මෙරට ප්‍රධාන දේශපාලනඥයින්ගෙන් 65%කට වැඩි පිරිසක් වයස අවුරුදු 65ට වඩා ජීවත් වන බවත්, තවත් 10%කට අධික පිරිසක් 75ට වඩා ජීවත් වන බවත් ඔහු පෙන්වා දෙයි. ඊට අමතරව, 80 වැනි වියද ඉක්මවා ජීවත් වන දේශපාලනඥයන්ද 5%ක් පමණ සිටින බව ඔහු සඳහන් කරයි.
අඩු ආයු කාලයක් සහිතව මිය යන දේශපාලනඥයින් අතරින් වැඩි පිරිසක් හදිසි හෘදයාබාධ, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය මෙන්ම අනතුරු හේතුවෙන් මිය යන බවත්, පිළිකා වැනි රෝගී තත්ත්වයන් මත මිය යන දේශපාලනඥයන්ගේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු බවත් වෛද්‍ය සංජීව මහතා පෙන්වා දෙයි.
දේශපාලන ක්ෂේත්රයේ නිරතව සිටින ප්‍රධාන පෙළේ දේශපාලනඥයින්ට හිමිවන ඉහළ වෛද්‍ය පහසුකම්, පාර්ලිමේන්තු වෛද්‍ය රක්ෂණ ක්‍රම යටතේ ලැබෙන ප්‍රතිකාර, පුද්ගලික හා විදේශීය රෝහල්වල ප්‍රතිකාර ගැනීමට ඇති අවස්ථාව, මෙන්ම ඔවුන්ට ලැබෙන පවුල් සහ හිතවතුන්ගේ සහයෝගය, නිරෝගී දිවිපෙතක් සඳහා වන ජීවන රටාවන් අනුගමනය කිරීම ආදිය මෙයට හේතු වී ඇත.
ඊට අමතරව, ආර්ථිකමය වශයෙන් දැඩි ගැටළු නොමැතිවීම, සාපේක්ෂව මානසික ආතතිය අඩු මට්ටමක පැවතීම සහ දේශපාලනයෙන් බැහැර කාලය විනෝදයෙන් හා සැහැල්ලුවෙන් ගත කිරීමට ලැබීමද ආයු කාලය වැඩිවීමට හේතුවක් වී ඇත. සාමාන්‍ය මහජනතාව මුහුණ දෙන ආර්ථික බර, ණය බර, බදු බර, දරුවන්ගේ අධ්‍යාපනික හා සෞඛ්‍ය වියදම් ආදිය මෙම ඉහළ පෙළේ දේශපාලනඥයින්ට අවම මට්ටමක පැවතීමද ආයු කාලය දීර්ඝ වීමට බලපාන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
1977 පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන් අතරින් වැඩි පිරිසක් හදිසි අනතුරු හෝ ත්‍රස්තවාදී විපත් හේතුවෙන් මිය ගියද, එසේ නොවු අවස්ථාවලදී ඔවුන් වයස අවුරුදු 80 ආසන්න වන තෙක්ම ජීවත් වී ඇති බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
මෙම සමාජ සමීක්ෂණය පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයන සිදුකරන බවත්, ඉදිරි මාස හයක කාලය තුළ මේ සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාවක් ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර