මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතු හිමිකරුවන් විසින් භාර නොගන්නා ලද අංක තහඩු විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. 2023 සහ 2024 වර්ෂවලදී මුද්‍රණය කරන ලද අංක තහඩු ලක්ෂයකට අධික ප්‍රමාණයක් මේ වන විට දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ දිස්ත්‍රික් කාර්යාලවල ගොඩගැසී ඇත.
දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, මෙම තහඩු බොහොමයක් වාහන හිමියන් විසින් භාරගෙන නොමැත. විශේෂයෙන්ම වාහන පැවරීමේදී පළාත් මාරු වීම් හේතුවෙන් සකස් කළ අංක තහඩු මෙලෙස වැඩි වශයෙන් ඉතිරි වී ඇති බව හඳුනාගෙන තිබේ.
මෙම අංක තහඩු ලබාගන්නා ලෙස දෙපාර්තමේන්තුව මීට මාස දෙකකට පෙර සිටම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ දැනුම් දී තිබුණි. කෙසේ වෙතත්, එම කාලසීමාව තුළ අංක තහඩු විස්සකටත් අඩු ප්‍රමාණයක් පමණක් හිමිකරුවන් විසින් රැගෙන ගොස් ඇති බව නිලධාරීන් පවසයි.
නව සමාගමක් මඟින් අංක තහඩු මුද්‍රණ කටයුතු ආරම්භ කර ඇති පසුබිමක, හිමිකරුවන් නොපැමිණි මෙම පැරණි තහඩු තොගය අබලි යකඩ ලෙස ඉවත් කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
