ඉන්දියාවේ දඹදිව වන්දනා චාරිකාවල නිරත වන ශ්‍රී ලාංකික බැතිමතුන් සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ලබාදී තිබූ මාසික සහන වීසා පහසුකම මේ වන විට අත්හිටුවා තිබේ. මෙම තීරණය හේතුවෙන් වන්දනාකරුවන් මෙන්ම චාරිකා සංවිධායකයින් ද දැඩි අසීරුතාවකට පත්ව ඇති බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමය පවසයි.
බොරැල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර හල්ලොලුව මහතා සඳහන් කළේ, මීට පෙර බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි ආයතන හරහා වන්දනාකරුවන්ට සහන වීසා ලබාගැනීමේ අවස්ථාව පැවැති බවයි. කෙසේ වෙතත්, පසුගිය මාස කිහිපයක සිට එම ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත.
මෙම වෙනස්කම් හේතුවෙන් වන්දනාකරුවන්ට තනි තනිව වීසා අයදුම් කිරීමට සිදුව ඇති අතර, මීට පෙර පැවැති රුපියල් 3,875ක සහන ගාස්තුව වෙනුවට මේ වන විට රුපියල් 9,850ක මුදලක් ගෙවීමට සිදුව තිබේ. මෙම අමතර වියදම් බර නිසා බොහෝ බැතිමතුන් වන්දනා ගමන් අත්හැර දමා ඇති බවත්, එය සංචාරක ආයතනවල රැකියා සුරක්ෂිතභාවයට බලපා ඇති බවත් හල්ලොලුව මහතා වැඩිදුරටත් පැවසීය.
ඉන්දියානු ජාතිකයින් සඳහා නොමිලේ වීසා පහසුකම් ලබාදෙන පසුබිමක, ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා පවතින මෙම ගැටලුව විසඳීමට රජය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වනු ඇතැයි සංවිධායකයින් බලාපොරොත්තු පළ කරති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර