ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සිය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කර ඇත. දේශීය සහ ගෝලීය ආර්ථිකයේ වත්මන් ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනය කිරීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.

මහ බැංකුව පෙන්වා දෙන්නේ මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන ඇතුළු භාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි. මෙවැනි බාහිර සාධක ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද විවිධ බලපෑම් එල්ල කළ හැකි බව ඔවුහු පවසති.

පසුගිය ජුනි මාසයේදී මෙරට වාර්ෂික උද්ධමනය 6.8%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එයට ප්‍රධාන වශයෙන් ආහාර සහ බලශක්ති මිල ගණන්වල සිදුවූ වෙනස්කම් බලපා තිබේ. ඉදිරි කෙටි කාලය තුළ උද්ධමනය 5%ක ඉලක්කයට වඩා තරමක් ඉහළ මට්ටමක පැවතිය හැකි වුවද, කාලයත් සමඟ එය නැවත ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.

ආර්ථිකයේ බාහිර අංශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකුව සඳහන් කළේ, ඉන්ධන ආනයන වියදම් ඉහළ යාම සහ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම් මන්දගාමී වීම හේතුවෙන් ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වන බවයි. කෙසේ වෙතත්, මෑතකදී හඳුන්වා දුන් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග නිසා ආනයන ඉල්ලුම ඉදිරියේදී පාලනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලැබීම ශක්තිමත් මට්ටමක පවතින බවත්, ජුනි මස අවසානය වන විට රටේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.45ක් දක්වා වර්ධනය වී ඇති බවත් මහ බැංකුව තහවුරු කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version