දියේ ගිලීම් හේතුවෙන් සිදුවන මරණ අවම කර ගැනීම සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් නව ජාතික වැඩපිළිවෙළක් සැකසීම සඳහා වන ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දිනින්දු සමන් හෙන්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දියේ ගිලීම් නිසා සිදුවන මරණ හුදෙක් සමාජ ප්‍රශ්නයක් පමණක් නොව, එය ජාතික ආරක්ෂාව සහ මහජන සුරක්ෂිතතාව සම්බන්ධ බරපතළ කාරණයක් බවයි. ඒ සඳහා තිරසාර සහ ක්‍රමානුකූල ජාතික යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා යෝජනා කළේ පාසල් විෂය නිර්දේශයට දියෙහි ආරක්ෂාව පිළිබඳ දැනුම ඇතුළත් කිරීමේ වැදගත්කමයි. එමගින් කුඩා කල සිටම දරුවන් තුළ ආරක්ෂිත හැසිරීම් රටාවන් වර්ධනය කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වෘත්තීය ජීවිතාරක්ෂක සේවාවන්ට සහාය වීම සඳහා පුහුණු තරුණ ස්වේච්ඡා ජාලයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයයි. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් බහු පාර්ශ්වීය කමිටුවක් පත් කිරීමට ද මෙහිදී තීරණය විය.
මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන්, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
