ලෝක බලශක්ති සැපයුම් දාමයේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලන බලය සම්බන්ධයෙන් ඕමානය විසින් නව යෝජනාවක් ඉදිරිපත් කර ඇත. දැනට මෙම සමුද්‍ර මාර්ගයේ පාලනය ඉරානය සතු වුවද, එය වෙනස් කර කලාපීය රටවල් කිහිපයක සහභාගීත්වයෙන් ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා කළමනාකරණය කිරීම මෙම යෝජනාවේ අරමුණයි.

වාර්තා වන පරිදි, මැලක්කා සමුද්‍ර සන්ධියේ ක්‍රියාත්මක වන ආකෘතිය ආදර්ශයට ගනිමින් මෙම සැලැස්ම සකස් කර තිබේ. ඒ අනුව, එම මාර්ගය භාවිතා කරන පාර්ශ්වයන් ස්වේච්ඡාවෙන් ගාස්තු ගෙවීම මගින් නාවික පහසුකම්, පරිසර ආරක්ෂණය සහ සෙවීම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා දායක වීමට අපේක්ෂා කෙරේ.

මෙම යෝජනාව සම්බන්ධයෙන් කලාපීය රටවල් කිහිපයකින් මූලික සහයෝගයක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක වුවහොත්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානයට පමණක් සීමා වූ පාලන බලය අවසන් වී, එය කලාපීය සහයෝගීතාව මත පදනම් වූ පද්ධතියක් බවට පත්වනු ඇත.

මේ අතර, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි විසින් ඕමාන සහ සෞදි අරාබි විදේශ අමාත්‍යවරුන් හමුවී කලාපීය ස්ථාවරත්වය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත. ලෝක බලශක්ති සැපයුමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ගමන් කරන මෙම කලාපයේ සාමය තහවුරු කර ගැනීම කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version