ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්ව ඇති අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.
ප්‍රාන්තයේ විවිධ දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වී තිබේ. ඒ අනුව කොට්ටයම්, එර්ණාකුලම්, ඉඩුක්කි, මූවට්ටුපුළා, කොල්ලම්, මලප්පුරම්, කන්නූර් සහ කොලිකෝඩ් යන ප්‍රදේශවලින් ජීවිත හානි වාර්තා වී ඇති බව කේරළ මහ ඇමති වී.ඩී. සතිසන් මහතා සඳහන් කළේය.
ආපදාවට ලක්වූවන් වෙනුවෙන් ප්‍රාන්තය පුරා සහන කඳවුරු 316ක් ස්ථාපිත කර ඇති අතර, ඉන් 11,018 දෙනෙකුට මේ වන විට ආරක්ෂාව සලසා දී ඇත. අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවද බලධාරීන් පවසයි.
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ ඉදිරි දින කිහිපය තුළද කේරළයට තද වැසි සහ ප්‍රබල සුළං තත්ත්වයක් පැවතිය හැකි බවයි. වෙරළබඩ ප්‍රදේශවල මුහුද රළු විය හැකි බැවින් ධීවර ප්‍රජාව සහ වෙරළබඩ ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
