ලොව පුරා සාගර පරිසර පද්ධතියේ ජීවත් වන තල්මසුන් සහ ඩොල්ෆින් සතුන්ගේ ශරීර තුළ ‘Forever Chemicals’ ලෙස හැඳින්වෙන PFAS රසායනික ද්‍රව්‍යවල සාන්ද්‍රණය 2000 වසරෙන් පසු සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර පර්යේෂකයන් පිරිසක් අනාවරණය කර තිබේ.
මෙම රසායනික ද්‍රව්‍ය මිනිස් වාසයෙන් දුරස්ථ ඇන්ටාක්ටිකාව වැනි ප්‍රදේශවල ජීවත් වන සතුන්ගේ ශරීර තුළින් පවා හමුවීම සාගර දූෂණයේ බරපතළකම පෙන්වා දෙන කරුණකි. නොඇලෙන භාජන, ජලය නොඇලෙන ඇඳුම් සහ ගිනි නිවන පෙන වැනි කාර්මික නිෂ්පාදන සඳහා භාවිත කරන මෙම රසායනික ද්‍රව්‍ය පරිසරයේ ස්වභාවිකව විනාශ නොවන බැවින් ඒවා ‘සදාකාලික රසායනික’ ලෙස හඳුන්වයි.
කාර්මික අපද්‍රව්‍ය සහ අපජලය හරහා ගංගා ඔස්සේ මුහුදට එක්වන මෙම රසායනික ද්‍රව්‍ය, කුඩා ජලජ ජීවීන් හරහා ආහාර දාමය ඔස්සේ ඉහළම දඩයම්කරුවන් වන තල්මසුන් සහ ඩොල්ෆින් සතුන්ගේ ශරීර තුළ තැන්පත් වේ. විශේෂයෙන්ම පැසිෆික් සාගරයේ ජීවත් වන සතුන් මෙම තත්ත්වයෙන් වැඩි බලපෑමකට ලක්ව ඇති බව පර්යේෂකයන් පවසයි.
මෙම රසායනික ද්‍රව්‍ය මව් සතුන්ගෙන් පැටවුන්ට ද සම්ප්‍රේෂණය විය හැකි බව අධ්‍යයනයෙන් තහවුරු වී ඇත. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම, හෝමෝන වෙනස්කම් සහ ප්‍රජනන ගැටලු වැනි සෞඛ්‍ය බලපෑම් මෙම රසායනික ද්‍රව්‍ය නිසා ඇති විය හැකි බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.
සමුද්‍ර පරිසරය සහ අනාගත පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා මෙම රසායනික ද්‍රව්‍ය සාගරයට එක්වීම පාලනය කිරීමට දැඩි ජාත්‍යන්තර නියාමන ක්‍රියාමාර්ග අවශ්‍ය බව පර්යේෂකයෝ අවධාරණය කරති.
