ජෙරුසලම ආසන්නයේ බටහිර ඉවුරේ පිහිටි කලන්ඩියා සරණාගත කඳවුර ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා විසින් දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇත. මෙම සිදුවීමෙන් අවම වශයෙන් පලස්තීනුවන් 51 දෙනෙකු තුවාල ලබා ඇති බව ජෙරුසලම් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
වාර්තා වන පරිදි, ඊශ්‍රායල හමුදා විසින් කලන්ඩියා මුරපොළ ආසන්නයේ පැවති ව්‍යාපාරික ස්ථාන කිහිපයක් කඩා ඉවත් කර ඇති අතර, ඒ ආසන්නයේ පිහිටි කෆ්ර් අකාබ් නගරයට ඇඳිරි නීතිය පනවා ප්‍රදේශයට පිවිසෙන මාර්ග කිහිපයක් වසා දමා තිබේ. පලස්තීන රතු අඩසඳ සංවිධානය (PRCS) සඳහන් කරන්නේ තුවාල ලැබූවන් අතරින් 35 දෙනෙකු රෝහල්ගත කිරීමට සිදුවූ බවයි.
ප්‍රහාරය අතරතුර රබර් ආවරණය කළ ලෝහ උණ්ඩ සහ කඳුළු ගෑස් භාවිතය හේතුවෙන් පිරිසක් පීඩාවට පත්ව ඇත. තුවාල ලැබූවන් වෙත ගිලන් රථ යොමු කිරීමට උත්සාහ කළද, හමුදා බාධා හේතුවෙන් එම කටයුතු දුෂ්කර වූ බව රතු අඩසඳ සංවිධානය වැඩිදුරටත් පවසයි.
මෙම මෙහෙයුම අතරතුර කාන්තාවන් සහ ළමුන් ඇතුළු පලස්තීනුවන් පිරිසක් නිවාස තුළදී රඳවාගෙන ප්‍රශ්න කිරීම් සඳහා රැගෙන ගොස් ඇති බවද වාර්තා වේ. තවද, ප්‍රදේශයේ සේවයේ නිරත වූ මාධ්‍යවේදීන්ටද ශබ්ද බෝම්බ ප්‍රහාර එල්ල කර එම ස්ථානයෙන් ඉවත් වීමට හමුදාව නියෝග කර තිබේ.
පසුගිය කාලය පුරා බටහිර ඉවුරේ පලස්තීන ප්‍රජාවන්ට එරෙහිව ඊශ්‍රායල හමුදා මෙහෙයුම් සහ පදිංචිකරුවන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි. මානව හිමිකම් සංවිධාන පවසන්නේ මෙම වසරේ මුල් මාස හය තුළදී පමණක් ප්‍රහාර 11,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.
