ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා ළමුන් සහ යෞවනයන් හිතාමතාම ආකර්ෂණය කරගනිමින් ඔවුන්ගේ භාවිතය දිගු කිරීමට මෙටා සමාගම කටයුතු කර ඇති බවට චෝදනා කරමින් පැවරූ දැවැන්ත නඩුවක විභාගය කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හිදී ආරම්භ වී තිබේ.

එක්සත් ජනපද ප්‍රාන්ත 29ක් විසින් 2023 වසරේදී මෙම නඩුව ගොනු කර ඇති අතර, ළමුන් සම්බන්ධ ෆෙඩරල් සහ ප්‍රාන්ත පෞද්ගලිකත්ව නීති රැසක් මෙටා විසින් උල්ලංඝනය කර ඇති බවට එහිදී චෝදනා නගා ඇත. ඉදිරි සති හය පුරා මෙම නඩු විභාගය පැවැත්වීමට නියමිතය.

ප්‍රාන්ත වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් පෙන්වා දෙන්නේ වයස අවුරුදු 13ට අඩු දරුවන් ඇතුළු තරුණ පරිශීලකයින් වේදිකාවල රඳවා තබා ගැනීමට මෙටා දැනුවත්ව කටයුතු කර ඇති බවයි. සමාගම තම අභ්‍යන්තර පර්යේෂණ හරහා ඉන්ස්ටග්‍රෑම් භාවිතය තරුණයින්ගේ යහපැවැත්මට බලපාන ආකාරය පිළිබඳව හොඳින් දැන සිටි බවද ඔවුන් අධිකරණයේදී සඳහන් කළහ.

කෙසේ වෙතත්, මෙටා වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන නීතිඥවරයා මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත. සමාජ මාධ්‍ය භාවිතය සමඟ ඇතැම් පුද්ගලයින් අරගල කරන බව පිළිගත්තද, එය විද්‍යාත්මකව තහවුරු කළ ඇබ්බැහි වීමක් ලෙස සැලකිය නොහැකි බව ඔහු පෙන්වා දී තිබේ.

මෙම නඩුව මඟින් අදාළ ප්‍රාන්ත 29 බලාපොරොත්තු වන්නේ හුදෙක් ඩොලර් බිලියන ගණනක වන්දියක් පමණක් නොවේ. ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වේදිකාවල ‘ලයික්’ ගණන් කිරීම සහ අසීමිත අනුචලන පහසුකම් වැනි විශේෂාංග වෙනස් කිරීම හෝ අවසන් කිරීම ඇතුළු දැඩි ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version