දකුණු තායිවානයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එරට සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබේ. අයහපත් කාලගුණය නිසා කඕෂියුං, තයිනෑන්, පිංතුං සහ චියායි යන ප්‍රදේශවල රාජ්‍ය කාර්යාල සහ පාසල් වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇත.
නැගෙනහිර තායිවානයේ තයිතුං සහ හුවාලියන් ප්‍රාන්තවලද පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් පාසල් සහ අනෙකුත් සේවා කටයුතු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය දින කිහිපය තුළ පැවති අඩු පීඩන තත්ත්වයක් මෙම වර්ෂාවට ප්‍රධාන හේතුව වී ඇති අතර, ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇත.
කඕෂියුං නගරයට පමණක් දින පහක් තුළ මිලිමීටර් 1300 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පළ කරති. මෙය එම නගරයට වසරක් තුළ ලැබෙන සාමාන්‍ය වර්ෂාපතනයෙන් අඩකට ආසන්න ප්රමාණයකි.
අධික වර්ෂාව නිසා දුම්රිය ගමනාගමනයටද බාධා එල්ල වී ඇති අතර, සවුඩෙල් සුළි කුණාටුව සතිය අවසානයේදී උතුරු තායිවානයට බලපෑම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙස බලධාරීන් ජනතාවට දැඩිව අවවාද කර තිබේ.
