බන්ධනාගාර තුළ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඊට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙළ දියත් කෙරිණි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය බන්ධනාගාරයේදී මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය ස්ථාපිත කිරීමේ සමාරම්භක උත්සවය පසුගිය 25 වැනිදා පස්වරුවේ පැවැත්විණි.
මෙම වැඩපිළිවෙළේ අරමුණ වන්නේ හදිසි අවස්ථාවකදී රාජ්‍ය ආයතනවල සහාය ලබා ගනිමින් රැඳවියන්ගේ සුබසාධන කටයුතු විධිමත් කිරීමයි. මෙම ක්‍රියාවලිය දිවයිනේ සියලුම බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරමින් සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා, බන්ධනාගාර අධිකාරීවරයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ සහ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, අමාත්‍යවරයා යාපනය බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී බන්ධනාගාරයේ මුළුතැන්ගෙය, කාන්තා අංශය සහ රිමාන්ඩ් සැකකරුවන් රඳවා ඇති ස්ථානවල පවතින තත්ත්වය සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව අමාත්‍යවරයා සොයා බැලීය.
