නීතියේ ආධිපත්‍යය රජයන, යුක්තිගරුක සහ සියලුදෙනාට සමානව සලකන රටක් මෙන්ම සහජීවන සමාජයක් බිහි කරලීමේ අපේක්ෂාව සාර්ථක කර ගැනීමට මුහම්මද් නබිතුමන්ගේ දර්ශනයෙන් නොමඳ මගපෙන්වීමක් ලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. මිලාද් උන් නබි සැමරුම වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේය.
ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ රබී අල්-අව්වල් මස උදාවෙත්ම ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් පරිත්‍යාගය පෙරටු කර ගනිමින් අද (26) ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දින සැමරුම සමරයි. හුදු උත්සවයකට එහා ගිය ගැඹුරු ආධ්‍යාත්මික හැඩගැස්මක් අපේක්ෂා කෙරෙන මෙම සැමරුම සමානාත්මතා සමාජයක් නිර්මාණය කිරීම පරමාර්ථ කර ගනිමින් ක්‍රියාත්මක වේ.
අසීමිත ඉවසීමේ සහ දයානුකම්පාවේ මාවත හෙළිපෙහෙළි කළ මුහම්මද් නබිතුමා මනුෂ්‍ය වර්ගයා වෙත පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයෙකු බව ජනාධිපතිවරයා සිය පණිවිඩයේ පෙන්වා දී තිබේ. ජාතිය, කුලය හෝ වංශවත් බව මත මිනිසා මැනීම ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ, සමස්ත මානව සංහතියම එකම මූලයකින් පැවත එන බවත්, සැබෑ ශ්‍රේෂ්ඨත්වය මැනිය හැක්කේ සත්‍යවාදී බව සහ කරුණාව වැනි උතුම් සාරධර්මවලින් පමණක් බවත් පසක් කළහ.
රට තුළ ක්‍රියාත්මක වන විෂ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි ජාතික මෙහෙයුම වැනි සමාජීය ආචාරධාර්මිකභාවය ඉහළට ඔසවා තැබීමේ වැඩපිළිවෙළට නබිතුමන්ගේ දහම සහ ජීවනාදර්ශය මගින් මහඟු සවියක් සැපයෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. වෛරය වෙනුවෙන් ප්‍රේමයත්, විරසකය වෙනුවෙන් සහෝදරත්වයත් අගයන නව යුගයක් කරා යන ගමනේදී එම දර්ශනය මනුෂ්‍යත්වයේ ආලෝකය වනු ඇති බව ඔහුගේ දැඩි විශ්වාසයයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර