2023 වසරේ මාර්තු මාසයේදී සිදු වූ නායයෑම හේතුවෙන් සිය නිවාස අහිමි වූ කබරගල ප්‍රදේශයේ පවුල් 50ක් සඳහා නව නිවාස ලබාදීමේ විශේෂ උත්සවයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පැවැත්වුණා.

පසුගිය වසර තුනහමාරක පමණ කාලයක් වසා දැමූ තේ කර්මාන්ත ශාලාවක අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවත් වූ මෙම පවුල්වලට මෙමගින් ස්ථිර නිවහනක් හිමිව තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ සෑම පවුලකටම පර්චස් 10ක ඉඩම් කොටසක් සහ වර්ග අඩි 550ක අංගසම්පූර්ණ නිවසක් ලබාදී ඇති අතර, එම නිවාස නිදන කාමර දෙකක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් සමන්විතයි.

මෙම නිවාස ලබාදීමේ විශේෂත්වය වන්නේ, වසර 200කට පමණ පසුව මලයගම් ජනතාවට තමන්ටම කියා නිල ලිපිනයක් හිමිවීමයි.

නිවාස සහ ඉඩම් ලබාදීමට අමතරව, නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු රුපියල් 175,000ක පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ කට්ටලයක් ද සෑම පවුලකටම ලබාදී තිබෙනවා.

රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ඔවුන්ට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂිතයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version