පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) පෙරවරුවේ එම ස්ථානය වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත විය. දශකයකට ආසන්න කාලයක් අඩාලව පැවති මෙම ව්‍යාපෘතිය, වත්මන් රජය යටතේ යළි ආරම්භ කරමින් මේ වසර සඳහා රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
සම්පූර්ණයෙන්ම දේශීය අරමුදල් මගින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය 2029 වසරේ අගභාගයේදී අවසන් කිරීමට සැලසුම් කර තිබේ. අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීම, කෘෂිකාර්මික සංවර්ධනය, ජල විදුලි උත්පාදනය සහ ගංවතුර පාලනය මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.
ජලාශය ඉදිකිරීමත් සමඟ මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවිබිම් අක්කර 40,000ක් යල මහ දෙකන්නයේම වගා කිරීමට අවශ්‍ය ජල පහසුකම් සැලසෙනු ඇත. ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන පවුල් 315ක් සඳහා ඉඩම් සහ නිවාස ලබා දීමටත්, ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමටත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
ව්‍යාපෘතියේ ප්‍රධාන බැම්මේ ඉදිකිරීම් මේ වන විට 60%ක් පමණ අවසන් කර ඇති බව නිලධාරීන් පෙන්වා දුන්හ. තන්තිරිමලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් ජනාධිපතිවරයා දක්වන කැපවීම උන්වහන්සේගේ ඇගයීමට ලක් විය.
