යාපහුව පුරාවිද්‍යා භූමියේ සිදුකෙරෙන සංස්කෘතික උරුම කළමනාකරණ වැඩසටහන යටතේ සිදුකළ නවතම කැණීම්වලින් ඓතිහාසික වශයෙන් වැදගත් සාධක රැසක් මතු වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.

මෙම පුරාවිද්‍යාත්මක සාධක නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍යවරයා සහ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් පසුගියදා එම ස්ථානය වෙත ගොස් තිබුණි. මෙම සොයාගැනීම්වල කාලනිර්ණය ඇතුළු විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් තවදුරටත් දියුණු කිරීමට රජය අවධානය යොමු කර ඇත.

විදේශ ආධාර සහිතව නවීන රසායනාගාරයක් ස්ථාපිත කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පූර්ණ අනුග්‍රහය සහ ප්‍රවීණ මහාචාර්යවරුන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් මෙරට ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳ මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකි වී තිබේ.

මීට අමතරව, අභයගිරි පූජා භූමියෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා 19ක් සහ යටාල ප්‍රදේශයෙන් ඓතිහාසික චෛත්‍යයක් හමුවීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය. එම පුරාවිද්‍යාත්මක සාධකවල ඓතිහාසික වටිනාකම තහවුරු කිරීම සඳහා ඉදිරියටත් විද්‍යාත්මක පර්යේෂණ සිදුකරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version