අම්පාර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කරමින්, දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අරමුණින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම සංචාරයේදී අමාත්‍යවරයා අඩ්ඩාලච්චේන සහ අක්කරෙයිපත්තුව පොදු ක්‍රීඩාංගණවල පවතින වත්මන් තත්ත්වය සහ අඩුපාඩු පිළිබඳව සොයා බැලීය. ප්‍රදේශයේ ක්‍රීඩකයින් සහ මහජන නියෝජිතයින් විසින් ක්‍රීඩාංගණ සංවර්ධනයට අදාළ අවශ්‍යතා සහ යෝජනා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදී.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, උතුරු, දකුණු හෝ නැගෙනහිර ලෙස භේදයකින් තොරව රටේ සියලුම දක්ෂ ක්‍රීඩකයන්ට අවශ්‍ය පුහුණුව සහ පහසුකම් රජය මගින් සාධාරණ ලෙස ලබාදීමට කටයුතු කරන බවයි. ප්‍රාදේශීය මට්ටමින් ක්‍රීඩාව නංවාලීම තම අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණක් බවද ඔහු අවධාරණය කළේය.

අඩ්ඩාලච්චේන ක්‍රීඩාංගණයේ පවතින අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමුඛතාවය මත ඉටු කිරීමටත්, අක්කරෙයිපත්තුව පොදු ක්‍රීඩාංගණය සඳහා නව ප්‍රේක්ෂකාගාරයක් ඉදිකිරීමටත් මෙහිදී සාකච්ඡා විය. මීට අමතරව, අක්කරෙයිපත්තුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණය සහ පිහිනුම් තටාකයේ පවතින ගැටලු නිරාකරණය කිරීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා සහතික විය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ආදම්බාවා මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version