ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ ප්‍රබල පාතාල නායකයින් දෙදෙනෙකු වන ‘කළු මල්ලී’ සහ ‘වැල්ලේ සාරංග’ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා පොලිසිය සහ ඩුබායි ආරක්ෂක අංශ අතර පැවති බුද්ධි තොරතුරු හුවමාරුවකින් පසු මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.

දෙහිවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ ‘දෙහි බාලේ මල්ලි’ගේ සහෝදරයා වන තුෂාන් නෙත්සර නොහොත් ‘කළු මල්ලී’, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනීමැරුම් රැසකට සම්බන්ධ අයෙකි. මොහුට එරෙහිව අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබූ අතර, නාවික හමුදාව විසින් සොයාගත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන්ද මොහුගේ සම්බන්ධතාවය තහවුරු වී ඇත.

මෝදර සහ මට්ටක්කුලිය ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අපරාධ ජාලයක් පවත්වාගෙන ගිය ‘වැල්ලේ සාරංග’ ද ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්විය. ව්‍යාජ ඉන්දීය ගුවන් බලපත්‍රයක් භාවිතා කරමින් සැඟවී සිටි මොහු, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මෙරටට මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ප්‍රවාහනය කිරීමේ ප්‍රධාන සැකකරුවෙකි.

මේ අතර, රජය විසින් පසුගිය කාලසීමාව තුළ ජාත්‍යන්තර රතු නිවේදන 110ක් ලබාගෙන ඇති අතර, ඒ හරහා සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 66 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත. තවත් අපරාධකරුවන් 35 දෙනෙකු සිටින ස්ථාන පිළිබඳව නිශ්චිත තොරතුරු ලැබී ඇති බවත්, ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගනිමින් සිටින බවත් රජය පවසයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version