ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල යටතේ, වසර අවසන් වීමට පෙර නව බස් රථ 800ක් සේවයට එක් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

මෙම බස් රථවලින් 600ක් වායුසමීකරණය කළ බස් රථ ලෙස ආනයනය කිරීමටත්, ඉතිරි 200 ලංගම අරමුදල් මගින් මිලදී ගැනීමටත් පියවර ගෙන ඇත. කඩවත මෙට්‍රෝ ඩිපෝ අංගණයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙට්‍රෝ බස් සේවාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, එම බස් රථ සංඛ්‍යාව 172ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවයි. දැනට පවතින බස් රථ 122ක ප්‍රමාණය මෙම මස තුළ වැඩි කිරීමටත්, තවත් බස් රථ 50ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමටත් කටයුතු යොදා ඇත.

මෙම සේවාව බස්නාහිර පළාතෙන් ඔබ්බට ව්‍යාප්ත කරමින් ගාල්ල, මහනුවර සහ යාපනය යන ප්‍රදේශවලට ද හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. මීට අමතරව, මෙට්‍රෝ ආයතනය සමඟ ගිවිසුම්ගතව බස් සේවාව පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයට ද ඉදිරියේදී අවස්ථාව ලබා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version