මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ ‘කොණ්ඩ රංජි’ නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු පසුගිය 09 වැනිදා උදෑසන ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි අවස්ථාවේ ආගමන විගමන නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණ නියෝග මත පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබේ.

ඩුබායි රාජ්‍යයේ ‘ගෝල්ඩන් වීසා’ පහසුකම් යටතේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටි මොහු, එරට නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා මත පිටුවහල් කරනු ලැබීය. කෝටි 4කට අධික වටිනා රන් ආභරණ පැළඳීම ඔහුගේ සිරිතක්ව පැවති අතර, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට පොලිසිය තහවුරු කරයි.

කඳාන ප්‍රදේශයේදී හිටපු අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයාට වෙඩි තැබීම ඇතුළු දරුණු අපරාධ ගණනාවකට මොහුගේ සම්බන්ධය පවතින බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මීගමුව බන්ධනාගාරයේදී පාතාල කල්ලි සමඟ ඇති කරගත් සබඳතා හරහා මත්ද්‍රව්‍ය ජාවාරමට පිවිසි මොහු, වත්තල, ජාඇල සහ කටුනායක ඇතුළු ප්‍රදේශ කිහිපයක මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක ප්‍රධානියා ලෙස කටයුතු කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහුව පෑලියගොඩ අපරාධ කොට්ඨාශය වෙත භාර දීමට පියවර ගෙන ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version