මෙවර ‘පුනරුදයේ පුරවර’ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන 2026 පළාත් පාලන සතිය සැප්තැම්බර් 14 වන සඳුදා සිට 19 වන සිකුරාදා දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත. පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
පසුගිය වසරේ සාර්ථකත්වය මත පදනම්ව, මෙවර වැඩසටහන් 4,000කට අධික සංඛ්‍යාවක් මහජනතාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන ප්‍රතිපත්ති මාලාවට අනුගතව මෙම වැඩසටහන් පෙළ සකස් කර ඇත.
සතියේ දින වෙන් කර ඇත්තේ පහත පරිදි වේ: සැප්තැම්බර් 14 ජංගම සේවා සහ ආදායම් ප්‍රවර්ධන දිනය ලෙසත්, 15 වන දින මහජන උපයෝගීතා දිනය ලෙසත් නම් කර ඇත. 16 වන දින පරිසර සහ රුක් රෝපණ දිනය, 17 වන දින සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය, 18 වන දින සාහිත්‍ය, අධ්‍යාපන සහ ක්‍රීඩා දිනය ලෙසත් වෙන් කර තිබේ.
සැප්තැම්බර් 19 වන දින ‘Clean ශ්‍රී ලංකා’ අත්තම වැඩසටහන සහ සහතික පත්‍ර ප්‍රදානයත් සමඟ පළාත් පාලන සතියේ සමාප්ති උළෙල පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන් සඳහා අමාත්‍යාංශ රැසක්, ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුළු පාර්ශව රැසක් සිය දායකත්වය ලබා දෙයි.
පළාත් පාලන ආයතන 341ක් හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලමින් සුරක්ෂිත ජීවන පරිසරයක් ගොඩනැගීම අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
