අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විය. මෙහිදී සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්රයට අදාළ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණි.
2027 වර්ෂයේදී 2 සහ 6 ශ්‍රේණි සඳහා හඳුන්වා දීමට නියමිත නව ප්‍රතිසංස්කරණවල ඉදිරි පියවර සහ දැනට පළමු ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලදී. ජාතික විෂයමාලා රාමුව (NCF) ඇතුළු ප්‍රතිපත්තිමය ලියකියවිලි කඩිනමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිත බව මෙහිදී අනාවරණය විය.
නව ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලය පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 දක්වා පැවැත්වීමටත්, විෂය කාල පරිච්ඡේදයක් මිනිත්තු 40ක් ලෙස පවත්වා ගැනීමටත් යෝජනා වී ඇත. සාමාන්‍ය පෙළ විභාගය විෂයයන් 7කින් සමන්විත වන අතර, අඛණ්ඩ ඇගයීම් ක්‍රමවේදයක් හඳුන්වා දීම මෙහි විශේෂත්වයකි. එසේම, 10-13 ශ්‍රේණි සඳහා වෘත්තීය විෂයයන් සහ නවීන කුසලතා සංවර්ධන මොඩියුල ඇතුළත් කිරීමට සැලසුම් කර ඇත.
පෙර පාසල් අධ්‍යාපනය නංවාලීම සඳහා නව විෂයමාලා රාමුවක් ක්‍රියාත්මක කිරීම සහ ගුරුවරුන්ගේ වෘත්තීය ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය ද අග්‍රාමාත්‍යවරිය විසින් අවධාරණය කරන ලදී. මෙම ප්‍රතිසංස්කරණවල ප්රතිලාභ සිසුන්ට නිසි ලෙස ලබාදීම සඳහා සියලු පාර්ශ්වයන් අන්‍යෝන්‍ය අවබෝධයකින් කටයුතු කළ යුතු බවත්, දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් කඩිනමින් ආරම්භ කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
