බ්‍රිතාන්‍යයේ අභාවප්‍රාප්ත ඩයනා කුමරිය විසින් පැළඳි, ලොව පුරා ‘Revenge Dress’ හෙවත් ‘පලිගැනීමේ ඇඳුම’ ලෙස ප්‍රකට වූ කළු පැහැති සන්ධ්‍යා ඇඳුම වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇත.
1994 වසරේ ලන්ඩනයේ සර්පෙන්ටයින් ගැලරියේ පැවති උත්සවයකට ඩයනා කුමරිය මෙම ඇඳුම පැළඳ පැමිණි අතර, එය එකල විශාල මාධ්‍ය අවධානයකට ලක්විය. එවකට චාල්ස් කුමරු තමාගේ අනියම් සබඳතාවක් පිළිබඳ ප්‍රසිද්ධියේ පිළිගැනීමෙන් පැය කිහිපයකට පසු, ඩයනා කුමරිය මෙම ඇඳුමෙන් සැරසී පෙනී සිටීම විශේෂ සිදුවීමක් විය.
ග්‍රීක ජාතික නිර්මාණ ශිල්පිනී ක්‍රිස්ටිනා ස්ටැම්බෝලියන් විසින් නිර්මාණය කරන ලද මෙම උරහිස් රහිත කළු සිල්ක් ඇඳුම, එදින ඇයගේ විලාසිතා උපදේශිකාවගේ නිර්දේශය මත තෝරාගෙන තිබුණි. එම අවස්ථාවේදී ඇය තමාට ‘ඩොලර් මිලියනයක් වටිනා පෙනුමක්’ ලබා ගැනීමට අවශ්‍ය බව පවසා තිබූ බව වාර්තා වේ.
මෙම වෙන්දේසිය දෙසැම්බර් 9 වැනිදා පැවැත්වීමට නියමිත අතර, එය ඇමරිකානු ඩොලර් 300,000ක් හෙවත් බ්‍රිතාන්‍ය පවුම් 220,000ක පමණ මිලකට අලෙවි වනු ඇතැයි වෙන්දේසි ආයතනය අපේක්ෂා කරයි.
1997 වසරේදී ඩයනා කුමරිය විසින් සිය ඇඳුම් 79ක් පුණ්‍ය කටයුතු සඳහා වෙන්දේසි කළ අවස්ථාවෙන් පසු, මෙම ඇඳුම පළමු වරට වෙන්දේසියකට ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. මීට පෙරද ඩයනා කුමරිය භාවිතා කළ විවිධ භාණ්ඩ සහ ඇඳුම් ඉහළ මිල ගණන් යටතේ අලෙවි වී ඇති අතර, මෙම ඇඳුම සඳහාද විශාල ඉල්ලුමක් පවතිනු ඇතැයි විශ්වාස කෙරේ.
