දෙහිවල කවුඩාන ප්‍රදේශයේ නිවසක නිදා සිටි දරුවන් දෙදෙනෙකුට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ. ඊයේ (11) අලුයම සිදු වූ මෙම ප්‍රහාරයෙන් 17 හැවිරිදි සහ 11 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ දරුවන්ගේ පියා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහු වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු බව පොලිසිය පවසයි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පාතාල නායකයන් වන ‘කොස් මල්ලි’ සහ ‘බඩෝවිට අසංක’ යන කල්ලි අතර පවතින ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බවයි. තුවාල ලැබූ පියාගේ සහෝදරයෙකු බඩෝවිට අසංක සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් පළිගැනීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය සැක කරයි.

ප්‍රහාරය සඳහා පැමිණි සැකකරුවන් භාවිත කළ ත්‍රිරෝද රථය පාදුක්ක ප්‍රදේශයේදී සොයාගෙන ඇත. ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු සැකකරුවන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය දරුවන් දෙදෙනා දෙහිවල ශ්‍රාස්ත්‍රානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් බවත්, ඔවුන් ඉතා අහිංසක දරුවන් බවත් ප්‍රදේශවාසීන් පවසති. මෙම පාතාල කල්ලි දෙක අතර පවතින ගැටුම් හේතුවෙන් පසුගිය කාලය තුළ පුද්ගලයන් දහයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version