රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ දිවයින පුරා පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ‘පුනරුදයේ පුරවර’ පළාත් පාලන සතිය අද (14) ආරම්භ කෙරිණි. සැප්තැම්බර් 19 වැනිදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේ අරමුණ වන්නේ මහජන කේන්ද්‍රීය, කාර්යක්ෂම සහ පරිසර හිතකාමී පළාත් පාලන සංස්කෘතියක් ගොඩනැගීමයි.

මෙම සතියේ පළමු දිනය ජංගම සේවා සහ ආදායම් ප්‍රවර්ධන දිනය ලෙස නම් කර ඇති අතර, ඒ යටතේ හිඟ වරිපනම් සහ කඩ කුලී අය කරගැනීම ඇතුළු මහජන සේවාවන් ජංගම සේවා මගින් සිදු කෙරේ. එසේම ඉදිරි අයවැය සඳහා මහජන අදහස් සහ යෝජනා ලබාගැනීමද අද දිනයේ සිදු කිරීමට නියමිතය.

හෙට (15) මහජන උපයෝගිතා දිනය ලෙස නම් කර ඇති අතර, පොදු ස්ථාන පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීම සිදු කෙරේ. සැප්තැම්බර් 16 වැනිදා පරිසර සහ රුක්රෝපණ දිනය ලෙසත්, 17 වැනිදා සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය ලෙසත් වෙන් කර ඇත. එම දිනවලදී කසළ කළමනාකරණය, රුක්රෝපණ වැඩසටහන් සහ සෞඛ්‍ය සායන ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.

සතියේ පස්වැනි දිනය වන සැප්තැම්බර් 18 වැනිදා සාහිත්‍ය, අධ්‍යාපන සහ ක්‍රීඩා දිනය ලෙස නම් කර ඇති අතර, අවසන් දිනය වන 19 වැනිදා සහතික පත්‍ර ප්‍රදානය සහ සමාප්ති උත්සවය පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන් මාලාව හරහා මහජනතාව රාජ්‍ය පාලන ක්‍රියාවලියට සෘජුවම සම්බන්ධ කරගැනීම අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version