ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීමේදී මතුවන වැටුප් විෂමතා සහ එමගින් ජ්යෙෂ්ඨ ගුරුවරුන් විදුහල්පති සේවයට එක්වීමට දක්වන මැලිබව පිළිබඳව කරුණු අධ්යයනය කිරීමට පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත් කිරීමට අධ්යාපනය, ශ්රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී නීතීඥ හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්වූ කාරක සභාවේදී මෙම කරුණු දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 2014 වසරේ නිකුත් කළ විදුහල්පති සේවා ව්යවස්ථාව අනුව, ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම උසස්වීමක් ලෙස නොව ‘නව පත්වීමක්’ ලෙස සැලකීම මෙම වැටුප් ගැටලුවට මූලික හේතුව බව නිලධාරීන් පෙන්වා දුන්හ.
ගුරු සේවයේ පළමු ශ්රේණියේ සිට විදුහල්පති සේවයේ තුන්වන ශ්රේණියට පත්වීමේදී වැටුප් වර්ධක අතර පවතින පරතරය සහ සේවා කාලය තුළ හිමිවිය යුතු වැටුප් වර්ධක අහිමි වීම හේතුවෙන් ජ්යෙෂ්ඨ ගුරුවරුන් විදුහල්පති විභාගයට පෙනී සිටීමට අධෛර්යමත් වන බව මෙහිදී අවධාරණය විය. එම නිසා, විදුහල්පති සේවයට පිවිසීම ‘උසස්වීමක්’ ලෙස සලකා සේවා ව්යවස්ථාව සංශෝධනය කිරීමේ අවශ්යතාව පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මීට අමතරව, අධ්යාපනවේදී (B.Ed) උපාධිධාරීන් ගුරු සේවයේ දෙවන ශ්රේණියට සෘජුව බඳවා ගැනීම සහ 2030 වසර දක්වා ඔවුන්ට ගුරු පත්වීම් ලබා දීමේ ක්රමවේදය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මෙම බඳවා ගැනීම් දැනට ක්රියාත්මක ගුරු බඳවා ගැනීමේ ක්රියාවලියට අමතරව, පළාත් මට්ටමින් පවතින පුරප්පාඩු පදනම් කරගෙන සිදු කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම, දකුණු පළාතේ රසායනාගාර සේවකයින් සහ මුරකරුවන් පිරිසකට වැටුප් ගෙවීමේදී සිදුවූ පරිපාලනමය දෝෂයක් හේතුවෙන් ඔවුන්ගේ වැටුපෙන් මුදල් අයකර ගැනීමේ ගැටලුවක් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. මෙම සේවකයින් අදාළ දෝෂයට වගකිව යුතු නොවන බැවින්, ඔවුන්ට සහනයක් ලබා දීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීම ලබා ගැනීමට ද කාරක සභාව පියවර ගෙන ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර