ඩුබායි ජාත්යන්තර ගුවන්තොටුපොළේ සිට ඊශ්රායලයේ බෙන්-ගුරියන් ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි (Flydubai) ගුවන් සේවයට අයත් එෆ්.සෙඩ්.1073 දරන ගුවන් යානය තුළ පසුගියදා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. මගීන් 150 දෙනෙකු රැගත් මෙම යානය සෞදි අරාබියට ඉහළින් පියාසර කරමින් තිබියදී, ඕමාන ජාතික සහාය නියමුවා විසින් යානය පැහැර ගැනීමට උත්සාහ කර ඇත.
සහාය නියමුවා පිහියක් භාවිත කරමින් ප්රධාන නියමුවාට පහර දී යානයේ පාලනය සියතට ගැනීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී ප්රධාන නියමුවා විසින් ගුවන් යානා හදිසි ආපදා සංඥාවක් වන ‘Squawk 7700’ සක්රීය කර තිබේ. යානය තුළ හදිසි තත්ත්වයක් ඇති බව හඳුනාගත් සෞදි සහ ඊශ්රායල බලධාරීන් වහාම ක්රියාත්මක වී සිය ප්රහාරක යානා ගුවනට යොමු කිරීමට පියවර ගෙන ඇත.
ප්රධාන නියමුවා පිහි ප්රහාරයෙන් තුවාල ලැබුවද, ඔහු දොර විවෘත කිරීමට සමත් වීමත් සමඟ යානයේ සිටි අනෙකුත් ගුවන් නියමුවන් සහ මගීන් එක්ව සහාය නියමුවා මෙල්ල කිරීමට සමත් වී තිබේ. මෙම සිදුවීමේදී මගියෙකු ලෙස ගමන් කළ යනිව් හයුන් ඇතුළු පිරිසක් දැක්වූ වීරත්වය හේතුවෙන් විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකි විය.
පසුව යානය සෞදියේ ටබුක් ගුවන්තොටුපොළ වෙත ආරක්ෂිතව ගොඩබස්වා ඇති අතර, තුවාල ලැබූ ප්රධාන නියමුවා රෝහල් ගත කර ප්රතිකාර ලබා දී ඇත. සැකකාර සහාය නියමුවා සෞදි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක වේ.
