බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සහ අභිවෘද්ධිය වෙනුවෙන් රජයේ පූර්ණ මැදිහත්වීම සහ සහයෝගය ලබා දෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වඩත්ත කොට්ටුකච්චිය ශ්‍රී සරණංකර පිරිවෙන් විහාරස්ථානයේ පැවති කුල දරුවන් 14 නමක් සසුන්ගත කිරීමේ සහ පිළිගැනීමේ උත්සවයට එක්වෙමිනි.

අතීතයේ සිටම ලෝකය සහ ශාසනය යන අංශ දෙකම ආරක්ෂා කිරීම රජයක වගකීමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම මෙන්ම ශාසනික උන්නතිය උදෙසා කටයුතු කිරීම වර්තමාන රජයේ ප්‍රමුඛතාවක් බව පැවසීය. බෞද්ධ සංස්කෘතිය සහ සාරධර්ම පෝෂණය කිරීම සඳහා රජය ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.

විශේෂයෙන්ම සසුනට පූජා කෙරෙන කුඩා සාමණේර හිමිවරුන්ගේ දෙමව්පියන් මුහුණ දෙන නිවාස ගැටලුව විසඳීම සඳහා ‘යතිවර මාපිය නිවාස’ වැඩසටහන ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. මේ වසරේ නිවාස 1000ක් ඉදිකිරීම සඳහා ජනාධිපති අරමුදලින් ප්‍රතිපාදන වෙන් කර ඇත.

මීට අමතරව, ස්වභාවික ආපදාවලින් හානි වූ විහාරස්ථාන ප්‍රතිසංස්කරණයට සහ කොට්ටුකච්චිය ශ්‍රී සරණංකර පිරිවෙනේ භික්ෂු නේවාසිකාගාරය ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන ඇත. පිරිවෙන් අධ්‍යාපනය නංවාලීම සඳහා විශේෂ අධ්‍යාපන ක්‍රියාවලියක් යටතේ ඉදිරියේදී වැඩි සහයෝගයක් ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

වඩත්තේ සෝමානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවති මෙම උත්සවයට මහා සංඝරත්නය, මහජන නියෝජිතයන් සහ විශාල පිරිසක් සහභාගී වූහ. දැනට මෙම පිරිවෙන තුළ සාමණේර හිමිවරුන් 100කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබමින් සිටිති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version