යාපනය දිස්ත්රික්කයේ නිවාස නොමැති ජනතාවට ආරක්ෂිත සහ ගෞරවනීය ජීවිතයක් උරුම කර දීමේ අරමුණින් නිවාස 1,114ක් ඉදිකිරීමේ ව්යාපෘතියක් රජය විසින් ක්රියාත්මක කර තිබේ. මෙම ව්යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය සහ යාපනය දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාමලිංගම් චන්ද්රසේකර් මහතා ප්රකාශ කළේ, ජනතාවගේ මූලික අවශ්යතා ඉටු කරමින් ඔවුන්ගේ ජීවිතවලට නව බලාපොරොත්තු එක් කිරීම රජයේ ප්රධාන වගකීමක් බවයි.
ලෝක වාසස්ථාන දිනයට සමගාමීව, නිවාස ඉදිකිරීමේ කටයුතු සම්පූර්ණ කළ ප්රතිලාභීන් 257 දෙනෙකු සඳහා සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවයක් පසුගියදා යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. යාපනය දිස්ත්රික් ලේකම් මරුතලිංගම් ප්රදීපන් මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතා ප්රධාන ආරාධිතයා ලෙස එක් විය.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ නිවාස ඉදිකිරීම සඳහා රජය විසින් ලබාදෙන මූල්ය ප්රතිපාදන රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇත. මෙම ආධාර මුදල නිවාස ඉදිකිරීම් අතරමග නතර වී තිබූ පවුල් රැසකට විශාල සහනයක් වී ඇති බව අමාත්යවරයා පෙන්වා දුන්නේය.
වත්මන් ව්යාපෘතිය යටතේ නැවත පදිංචි කිරීමේ වැඩසටහන හරහා නිවාස 833ක් ඉදිකරමින් පවතින අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා තවත් නිවාස 281ක් ඉදිකෙරේ. ඒ අනුව යාපනය දිස්ත්රික්කය තුළ සමස්ත නිවාස 1,114ක ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.
මහජනතාවගේ බදු මුදල් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් උපරිම ලෙස යොදවන බවත්, ජනතාවගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කරන සංවර්ධන ව්යාපෘති අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
