2013 වසරේදී ශ්රී ලංකන් ගුවන් සමාගම වෙත ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ලබා ගත් බවට චෝදනා කරමින් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නාමල් රාජපක්ෂ මහතාට අමතරව ශමීන්ද්ර රාජපක්ෂ, ප්රියංගා නියෝමාලී සහ බෘනායි රාජ්යයේ ලියාපදිංචි ‘බිස් සොලූෂන්’ පෞද්ගලික සමාගම නම් කර තිබේ. නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් ඉදිරිපත් කර ඇති අතර, ඒවා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 59 දෙනෙකුගේ ලැයිස්තුවක් ද අධිකරණයට භාර දී ඇත.
සැකකරුවන් විසින් යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබා ගත් බවට අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙම නඩුව ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට අගවිනිසුරුවරයා අනුමැතිය ලබා දී ඇත.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් කියා සිටියේ, මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බැවින් මහේස්ත්රාත් අධිකරණයට ඇප ලබා දීමේ බලයක් නොමැති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා, සැකකරු මහාධිකරණයට ඉදිරිපත් කරන තෙක් බන්ධනාගාර භාරයේ තබන ලෙස නියෝග කළේය. ඒ අනුව, සැකකරු මහාධිකරණයට ඉදිරිපත් කර ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇත.
