2017 වසරේ ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් වෙන් කළ පිම්බුරවත්ත බටහේන්පිටිය ප්රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි. ඉඩම් කට්ටි 78කින් සමන්විත මෙම ප්රදේශයේ පදිංචි වූවන්ට පසුගිය දශකයක කාලය පුරාම මූලික පහසුකම් නොමැති වීමෙන් දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව තිබුණි.
මෙම ව්යාපෘතියේ ප්රගතිය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් වූ අතර, පවුල් 78කට සියලු පහසුකම් සහිතව පදිංචි වීමට අවශ්ය පරිසරය සකස් කිරීම රජයේ අරමුණයි.
සංවර්ධන කටයුතු සඳහා මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 40ක්, පානීය ජල පහසුකම් සඳහා රුපියල් ලක්ෂ 20ක් සහ විදුලි බල පහසුකම් සඳහා රුපියල් මිලියන 20ක ප්රතිපාදන වෙන් කර ඇත. මෙම කටයුතු නිමවීමත් සමඟ වසර ගණනාවක් පැවති ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇත.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ධනුෂ්ක රංගනාත්, අගලවත්ත ප්රාදේශීය සභාවේ සභාපති ලලිත් කුමාරරත්න සහ අගලවත්ත ප්රාදේශීය ලේකම් සඳරේඛා නිල්මිණි වෙල්ගම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
