කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පුහුණු හා නේවාසික පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 176ක වියදමින් සාර්ථකව අවසන් කර ඇත. ලෝක බැංකු මූල්‍ය සහාය ඇතිව ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කෙරිණි.
මෙහිදී මහජන සෞඛ්‍ය රසායනාගාර පරීක්ෂක ශිල්පී පුහුණු පාසල, සේවාස්ථ පුහුණු නේවාසිකාගාරය සහ සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා වන පිරිමි නේවාසිකාගාරය නවීකරණය කර තිබේ. මීට අමතරව, අලුතින් ඉදිකළ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානය ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.
මෙම නේවාසිකාගාර මගින් සෞඛ්‍ය වෘත්තිකයන් සියයකට ආසන්න පිරිසකට පහසුකම් සැලසෙන අතර, විශේෂ අවශ්‍යතා සහිත වෘත්තිකයන් සඳහා ද මෙහි ඉඩකඩ වෙන් කර ඇත. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙම ආයතනය ඉදිරියේදී දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ ප්‍රමුඛතම සෞඛ්‍ය පුහුණු හා පර්යේෂණ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවයි.
එමෙන්ම, රජය විසින් ක්‍රියාත්මක කරන සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලසීමාව තුළ උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව අවසන් කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ව්‍යාපෘති කාලසීමා දීර්ඝ කිරීමෙන් සිදුවන අලාභ අවම කර ගනිමින්, ජනතාවට සෞඛ්‍ය සේවාවන් සමීප කිරීම සඳහා රජය කැපවී සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
