ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී වාතාවරණය අවම කර ගිවිසුමකට එළඹීමේ අරමුණින් කටාර් රාජ්‍යයේ මැදිහත්කරුවන් පිරිසක් ටෙහෙරාන් අගනුවර වෙත පැමිණ තිබේ. මෙම සාකච්ඡා වටය අමෙරිකානු පාර්ශ්වය සමඟ සම්බන්ධීකරණය කරමින් සිදුකරන බව වාර්තා වේ.

මීට පෙර කටාර් රාජ්‍යය විසින් ඉදිරිපත් කළ සාම සැලැස්ම ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබුණේ එම යෝජනා ඔවුන්ගේ ස්ථාවරයන්ට නොගැලපෙන බව පවසමිනි. විශේෂයෙන්ම තම න්‍යෂ්ටික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉරානය දැඩි ස්ථාවරයක සිටින අතර, ඇමෙරිකාව විසින් පනවා ඇති තෙල් අපනයන සම්බාධක සහ වරාය අවහිර කිරීම් ඉවත් කිරීම සාකච්ඡාවල මූලික පියවර විය යුතු බව ඔවුන් අවධාරණය කරයි.

මේ අතර, මැදපෙරදිග පවතින යුද උණුසුම හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පසුගිය මාස හයක කාලය තුළ වාර්තා වූ ඉහළම අගයට ළඟා වී තිබේ. මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී සඳහන් කර තිබුණේ ඉරානය සමඟ සිදුකළ සාකච්ඡා වෛද්‍ය සැපයුම්වලට අදාළ වූ බවයි. කෙසේ වෙතත්, ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ කටාර් රාජ්‍යයේ මැදිහත්වීම හරහා දෙරට අතර සබඳතා යළි ගොඩනැගීමේ උත්සාහයක් පවතින බවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version