ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සංවිධානයෙන් පැවැත්වෙන ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා සහයෝගය සහ අනුග්‍රාහකත්වය ලබාදෙන දේශීය මෙන්ම විදේශීය හවුල්කාර ආයතනවල දායකත්වය ඇගයීමේ විශේෂ උත්සවයක් ඊයේ (09) පවත්වන ලදී.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රදර්ශනය, 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතව ඇත.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, හවුල්කාර ආයතන විසින් මූල්‍යමය මෙන්ම මූල්‍යමය නොවන ආකාරයෙන් ලබාදෙන සහයෝගය ඉහළින් අගය කළේය. මෙම අවස්ථාවට EDB අධ්යක්ෂ ජනරාල් එරන්දික දිසානායක මහතා ඇතුළු නිලධාරීන් සහ අදාළ හවුල්කාර ආයතනවල නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.
නිෂ්පාදන හා සේවා අංශ 25ක් නියෝජනය කරමින් ප්‍රදර්ශකයින් 750කට ආසන්න පිරිසක් මෙම ප්‍රදර්ශනයට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව රටවල් 50කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ජාත්‍යන්තර ගැනුම්කරුවන්, ආයෝජකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු විදේශීය සහභාගිවන්නන් 1,500ක් පමණ එක්වීමට නියමිත බව සංවිධායකයෝ පවසති.
ප්‍රදර්ශනයට සමගාමීව ආයෝජන සංසදයක්, කර්මාන්ත ක්ෂේත්රයට විශේෂිත වූ සැසි, B2B ව්‍යාපාරික හමුවීම් මෙන්ම සංස්කෘතික ප්‍රසංග සහ දේශීය ආහාරපාන ප්‍රවර්ධනය කෙරෙන විශේෂාංග රැසක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
“සංස්කෘතිය, උරුමය සහ හස්ත කර්මාන්ත”, “නවෝත්පාදන සහ තාක්ෂණය” සහ “තිරසාර හා හරිත විසඳුම්” යන තේමා යටතේ විශේෂ ප්‍රදර්ශන කලාප පිහිටුවීමටද නියමිත අතර, මේ හරහා මෙරට ආර්ථික දිශානතිය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර